HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

චීන ගගනගාමීන් අභ්‍යවකාශ නැවතුම්පොළේ සිර වෙලා!

චීන ටියැන්ගොන් අභ්‍යවකාශ නැවතුම්පොළට, මාස හයකට පමණ වරක් චීන ගගනගාමීන් යෑම සිදුවෙයි. ඒ තිදෙනකු බැගිනි. ටියැන්ගොන් අභ්‍යවකාශ නැවතුම්පොළ යනු චීනය විසින් ඔවුන්ගේ ගගනගාමීන් සඳහා පමණක් නිර්මාණය කළ කුඩා අභ්‍යවකාශ නැවතුම්පොළකි; පර්යේෂණාගාරයකි. පසුගිය දා අලුත් ගගනගාමීහු තිදෙනෙක්, ‘ෂෙංග්සූ 21’ මෙහෙයුම යටතේ, ලෝංග් මාර්ච් රොකට්ටුවක ආධාරයෙන් ‘ෂෙංග්සූ’ අභ්‍යවකාශ යානයකින් නැවතුම්පොළ බලා ගියහ. ඒ, ‘ෂෙංග්සූ 20’ මෙහෙයුම යටතේ ‘ෂෙංග්සූ’ අභ්‍යවකාශ යානයෙන්, නැවතුම්පොළ බලා ගොස් සිටි ගගනගාමීන් තිදෙනාට ආපසු ඒමට අවස්ථාව උදා කරමිණි. එම ගගනගාමීන් තිදෙනා නැවතුම්පොළේ රැඳී සිටින්නේ අප්‍රේල් මාසයේ සිටය. ගගනගාමින් ආරක්ෂිතව උඩු ගුවනට රැගෙන යෑමටත්, ආපසු ඔවුන් ආරක්ෂිතව පෘථිවියට ගෙන ඒමටත් හැකි ලෙස ‘ෂෙංග්සූ’ යානා නිර්මාණය කර ඇත. අප්‍රේල් මාසයේ සිට, අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටින ගගනගාමීන් තිදෙනා වන්නේ, චෙන් දොං, චෙන් ෂොංරුයි සහ වෑං ජියේ ය. මොවුන්ගේ ‘ෂෙංග්සූ’ යානය ද අප්‍රේල් මාසයේ සිට ටියැන්ගොන් අභ්‍යවකාශ නැවතුම්පොළ හා සම්බන්ධ වී තිබුණි. 

අභ්‍යවකාශ නැවතුම්පොළේ සිරවී සිටින චෙන් දොං, චෙන් ෂොංරුයි සහ වෑං ජියේ.

චෙන් දොං, චෙන් ෂොංරුයි සහ වෑං ජියේ ඔවුන්ගේ යානයෙන් ආපසු පෘථිවියට ඒමට සූදානම් වෙද්දී අනපේක්ෂිත දෙයක් සිදුවිය. ‘ෂෙංග්සූ 20’ යානයට හානි වී තිබුණි. ඒ, අභ්‍යවකාශයේ කිසියම් වස්තුවක් එහි ගැටීමෙනි. හඳුනා නොගත් එම වස්තුව, අභ්‍යවකාශයේ කසළ විය හැකි යැයි අනුමාන කෙරේ. දැන්, චෙන් දොං, චෙන් ෂොංරුයි සහ වෑං ජියේ ආපසු පෘථිවියට පැමිණීමට යානයක් නොමැතිව, අභ්‍යවකාශ නැවතුම්පොළේ සිරවී සිටිති. ගගනගාමීන් තිදෙනා නිරුපද්‍රිතව ගෙන්වා ගැනීම අභියෝගයක් වී ඇත. චෙන් දොං, චෙන් ෂොංරුයි සහ වෑං ජියේ ද අලුතින් අභ්‍යවකාශ නැවතුම්පොළට ගිය ‘ෂෙංග්සූ 21’ ගගනගාමීන් තිදෙනා සමඟ ටියැංගොන් නැවතුම්පොළේ සිට වී සිටිති. නැවතුම්පොළේ පහසුකම් ඇත්තේ ගගනගාමීන් තිදෙනකුට පමණි. දැන් එහි හය දෙනෙක් සිටිති. 

‘ෂෙංග්සූ 20’ යානයට හානි සිදුවුණු නිසා, චෙන් දොං, චෙන් ෂොංරුයි සහ වෑං ජියේ ට ‘ෂෙංග්සූ 21’යානයෙන් ආපසු ඒම කළ නොහැකිය. ‘ෂෙංග්සූ 21’ යානය වෙන් වී ඇත්තේ අලුතින් අභ්‍යවකාශ නැවතුම්පොළට ගිය ගගනගාමීන් තිදෙනාටය. දැන් කුමකින් කුමක් වේවිද? එදිරිවාදිකම් පසෙකලා ඇමෙරිකාවේ නාසා ආයතනය චීන ගගනගාමීන්ගේ සහායට පැමිණේවිද? චෙන් දොං, චෙන් ෂොංරුයි සහ වෑං ජියේ කොතරම් කාලයක් අභ්‍යවකාශයේ සිරවී සිටිනු ඇතිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු දීම අසීරුය. අභ්‍යවකාශ ගමන් බිමන් යනු කොතරම් අවදානමක්දැයි යන්න පසක් කර දීමට මෙම සිදුවීම සමත් වී ඇත. 


චීන ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ

මේ වනවිට පෘථිවි කක්ෂයේ අභ්‍යන්තර නැවතුම්පොළ දෙකක් ඇත. එයින් ප්‍රධාන නැවතුම්පොළ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ ය. මෙය රඳවා ඇත්තේ, පෘථිවි පෘෂ්ඨයේ සිට දළ වශයෙන් කිලෝමීටර් 400 ක් පමණ ඉහළිනි, පෘථිවියේ වායුගෝලයෙන් පිටත, පහළ පෘථිවි කක්ෂයේය. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ අඵ්‍යවකාශයට යන ගගනගාමීන්ට නවාතැන්පොළක් සේම, එය දැවැන්ත පර්යේෂණාගාරයක් ද වෙයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ අභ්‍යවකාශයේ එකලස් කරමින් ඉදි කිරීම සිදුවූයේ ඇමෙරිකාවේ නාසා ආයතනයත්, රුසියාවේ රොස්කොස්මොස් අභ්‍යවකාශ ආයතනයත් එක් වෙමිනි. ඉන්පසු ජපාන අභ්‍යවකාශ ආයතනය, කැනඩා අභ්‍යවකාශ ආයතනය, යුරෝපීය අභ්‍යවකාශ ආයතනය මේ සඳහා එක් වී සිටී. තවත් රටවල් 15 ක සහයෝගය ද මේ සඳහා ලැබෙයි. මෙම අභ්‍යවකාශ නැවතුම්පොළ, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළක් බවට පරිවර්තනය වූයේ ඒ අනුවය. නැවතුම්පොළ, ඉදිකිරීම පමණක් නොව, එය නඩත්තු කිරීම ද මෙම අභ්‍යවකාශ ආයතන සහ රටවල් මගින් සිදුවෙයි. 

මිනිස් වර්ගයාගේ තාක්‍ෂණික ජයග්‍රහණවලින් එකක් බව අමුතුවෙන් කිව යුතු නැති මෙම නැවතුම්පොළ පැයට කිලෝමීටර් 27,580 ක පමණ වේගයකින් ගමන් කරයි. එය දිනකට පෘථිවිය වටා කක්ෂ 15.49 ක් පමණ සම්පූර්ණ කරයි. එනම්, සෑම මිනිත්තු 90 කට වරක්ම පෘථිවිය වටා එක් වටයක් යයි. පෘථිවියේ සිට පියවි ඇසින් දැකගත හැකි දෙවන (සඳට පසු) දීප්තිමත්ම වස්තුවය. 1998 දී මෙහි ඉදිකිරීම් කටයුතු අභ්‍යවකාශයේදී ආරම්භ විය. 2000 නොවැම්බර් 2 වැනිදා සිට අද දක්වාම අඛණ්ඩව ගගනගාමීන්ට මෙය නිවහනකි. මෙය පාපන්දු පිට්ටනියක තරම් විශාලය. දිගින් දළ වශයෙන් මීටර් 73ක් සහ පළලින් මීටර් 109ක් පමණ වේ. මිනිස් වර්ගයා විසින් මෙතෙක් නිපදවා ඇති මිල අධිකම වස්තුව වන්නේ ද අභ්‍යවකාශ ගවේෂණයේ සහ විද්‍යාත්මක පර්යේෂණයේ පෙරළිකාර කේන්ද්‍රස්ථානය වන මෙම නැවතුම්පොළය. වැය වූ මුදල ඩොලර් බිලියන 150කට ආසන්නය. 

දැන් එහි සිටින ගගනගාමීන් 6 දෙනෙකුගේ කණ්ඩායම

සාමාන්‍යයෙන් ගගනගාමීන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ වාසය කරයි. ඔවුන්ගේ මෙහෙයුම් කාලය සාමාන්‍යයෙන් මාස හයක් (දින 182) පමණ වෙයි. ගගනගාමීන් මාරුවෙන් මාරුවට මෙහි රැඳී සිටිමින් පර්යේෂණ සිදු කරයි. දිගු කාලීන අභ්‍යවකාශ ගමන් සඳහා සූදානම් වීම සහ ජීව විද්‍යා, භෞතික විද්‍යා, තාරකා විද්‍යා සහ කාලගුණ විද්‍යා පර්යේෂණවල නියැළීම සිදුවෙයි. මෙම අභ්‍යවකාශ නැවතුම්පොළ 2030 දී සිය සේවා කටයුතු නිමා කිරීමට නියමිතය. දැනටමත් නැවතුම්පොළේ ‘කාන්දුවීම්’ සිදුවන බව නාසා ආයතනය නිතරම පවසයි. අභ්‍යවකාශ ගවේෂණයේ පෙරැළි කළත් චීනය ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ හා සම්බන්ධ නැත. ඊට හේතුව, ඇමෙරිකාව සහ චීනය අතරේ පවතින එදිරිවාදිකම් සහ සැකය නිසාය. සරලව කීවොත්, දේශපාලන මත ගැටුම් නිසාය. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ හා චීනය සම්බන්ධ කර නොගැනීමට ඇමෙරිකාව නීති සකස් කර ඇත. ‘වුල්ෆ් සංශෝධනය’ යන නමැති එම නීතිය ඇමෙරිකන් පාර්ලිමේන්තුව (කොංග්‍රසය) සම්මත කළේ 2011 දීය. එම නීතිය අනුව නාසා ආයතනයට, චීනය සමඟ කිසිදු ද්විපාර්ශ්වික අභ්‍යවකාශ සහයෝගීතාවක් ඇති කර ගැනීම තහනම්ය. මේ නිසා චීනය ඔවුන්ට වෙනම අභ්‍යවකාශ නැවතුම්පොළක් ඉදි කර ගෙන ඇත. මෙය සියයට 100 ක් ම චීන නිෂ්පාදනයකි. ටියැන්ගොන් යනු එයයි. ටියැන්ගොන් යන්නෙහි අරුත දෙව්ලොව මාලිගාව යන්නය. මෙය මෙඩියුල නැතිනම් කොටස් තුනක් එකලස් කරමින් නිර්මාණය කරන ලද්දකි. 

‘ෂෙංග්සූ 21’ නව මෙහෙයුම යටතේ නැවතුම්පොළට අලුතින් ගිය ගගනගාමීන් තිදෙනා වන්නේ චං ලූ, වූ ෆෙයි සහ චං හොංචං ය. වූ ෆෙයි යනු චීනයේ අභ්‍යවකාශයට ගිය ළාබාලතම ගගනගාමියා (වයස අවුරුදු 32) ය. මෙය මොහුගේ පළමු අභ්‍යවකාශ ගමනය. ‘ෂෙංග්සූ 21’ මෙහෙයුම යටතේ, මීයන් ද අභ්‍යවකාශ නැවතුම්පොළට රැගෙන යෑම සිදුවිය. ඒ ශුන්‍ය ගුරුත්වයේ සිදුවන පර්යේෂණ සඳහාය. ‘ෂෙංග්සූ 20’ ෂටලයට හානි කළා යැයි පැවැසෙන අභ්‍යවකාශ කසළ හෙවත් අභ්‍යවකාශ යානා සුන්බුන් යනු, පෘථිවි කක්ෂයේ (විශේෂයෙන් පහළ පෘථිවි කක්ෂයේ) වේගයෙන් ගමන් කරන, අක්‍රිය වූ හෝ අත්හැර දැමූ මිනිසා විසින් නිර්මාණය කරන ලද වස්තූන්ය. පැරණි, අක්‍රිය වූ චන්ද්‍රිකා, රොකට්වල ඉහළ කොටස්, රොකට් දියත් කිරීමේදී ගැලවී ගිය කොටස්, සහ අභ්‍යවකාශයේ සිදුවන ගැටීම්වලින් ඇති වූ කුඩා කැබලි (මිලිමීටර ප්‍රමාණයේ ඒවා පවා) මෙම කසළ අතරේ ඇත. මෙම කසළ නැතිනම් සුන්බුන් පැයට කිලෝමීටර් 27,000 ක් වැනි අධික වේගයකින් ගමන් කරන බැවින්, ඒවා අභ්‍යවකාශ වික්‍රමවල යෙදෙන ගගනගාමීන්ට විශාල තර්ජනයක් එල්ල කරයි. විවිධ අභ්‍යවකාශ ඒජන්සි සහ පුද්ගලික සමාගම්, අභ්‍යවකාශ කසළ ඉවත් කිරීම සඳහා විශේෂ දැල් සහ චුම්බක වැනි නව තාක්ෂණික විසඳුම් සොයමින් සිටින බව ද පැවැසෙයි. 

-  ලුසිත ජයමාන්න 

 එන්.ඩී.ටීවී ඇසුරිනි

අදහසක් පළ කරන්න

0 Comments